ශ්‍රී ලංකාව සිය පළමු ජය එංගලන්තයට පූජා කරයි!

ICC Men's T20 World Cup 2026

342
sri lanka vs england
sri lanka vs england

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය අද (22) එංගලන්තය සමඟ පැවැත්වුණා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද සවස ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව එංගලන්තයට පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසීමට සිදු වුනා.

කෙසේ වෙතත් එංගලන්තය ඉනිම ආරම්භයේ පටන් ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් එංගලන්ත පිතිකරුවන් යම් පාලනයකට නතු කර ගනිමින් පන්දු යැවීමට සමත් වූ අතර, එංගලන්තය ඉනිමේ පළමු කඩුල්ල බිඳ දැමීමට දුනිත් වෙල්ලාලගේ විසින් සමත් වුනා.

එංගලන්තය පිතිකරුවන් විසින් සෑම විටම පිතිකරණ සබඳතා ගොඩ නගා ගැනීමට උත්සාහ කළත්, ඒ සෑම මොහොතකම ශ්‍රී ලංකා පන්දු යවන්නකු ක්‍රියාත්මක වීම විශේෂයෙන්ම අද දිනයේ දී දක්නට ලැබුණා.

කෙසේ වෙතත් එංගලන්තය ආරම්භක පිතිකරු Phil Salt විසින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් පන්දු 40කින් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් වූ අතර, අධික උණුසුම් කාලගුණ තත්ව යටතේ ඉතා අසීරුවෙන් දියත් වූ ඉනිමක් ලෙස මෙය හඳුන්වා දිය හැකි.

මීට අමතරව Will Jacks විසින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ හැරුණු කොට වෙනත් එකදු එංගලන්ත පිතිකරුවකු හෝ ලකුණු 15 සීමාව හෝ ඉක්මවා යෑමට සමත් වුනේ නැහැ.

එංගලන්ත කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 146ක් රැස් කර ගැනීමට සමත් වූ අතර, මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ කඩුලු 3ක් දවා ගන්නා අතරේ මහීෂ් තීක්ෂණ සහ දුශ්මන්ත චමීර කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මින් අනතුරුව ශ්‍රී ලංකාව විසින් ලකුණු 147ක ඉලක්කය හඹා යෑමේ අභියෝගය බාර ගත් අතර, ඒ වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට පැතුම් නිස්සංක සහ කමිල් මිශාර පිටියට අවතීර්ණ වුනා.

කෙසේ වෙතත් අද දිනය පැතුම්ට එතරම් සාර්ථක එකක් නොවූ අතර, ඔහුව ලකුණු 09කට දවා ගැනීමට Jofra Archer විසින් සමත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉනිම බිඳ වැටීම ආරම්භ වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 6 ලකුණු 52ක් තුළ බිඳ වැටුණු අතර, එතැනින් පසුව පසු පෙළ පිතිකරුවන්ගේ සහය ද සමඟ නායක දසුන් ශානක නැවත ඉනිම ගොඩ නැගීමට යම් උත්සාහයක නිරත වුනා.

කෙසේ වෙතත් දසුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 30ක් පමණයි. ඒ හැරුණු කොට වෙනත් එකදු ශ්‍රී ලාංකික පිතිකරුවකු හෝ ලකුණු 15 සීමාව හෝ ඉක්මවා යාමට අසමත් වුනා.

පන්දුවාර 16 පන්දු 4ක් පමණක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 95කට සීමා කිරීමට එංගලන්තය සමත් වූ අතර, ඒ අනුව එංගලන්තයට තරගයෙන් ලකුණු 51ක පහසු ජයක් හිමි වුනා.

එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Will Jacks කඩුලු 3ක් බිඳ හෙළන අතරේ, Jofra Archer, Liam Dawson සහ Adil Rashid කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

මේ අනුව සුපිරි 08 වටයේ දෙවැනි කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට එංගලන්තය සමත් වූ අතර, ශ්‍රී ලංකාව අවසන් ස්ථානයට පත් වුනා.

තරගයේ වීරයා සම්මානය Will Jacks හට හිමි වුනා.

සුපිරි 08 වටයේ ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත මීළඟ තරගය එළඹෙන 25 (බදාදා) නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිතයි.

2026 විස්සයි විස්ස ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<