ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිම මීට මොහොතකට පෙර නිමාවට පත් වුනා.
රංගිරි දඹුල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ දී ක්රියාත්මක වන තරගයේ කාසියේ වාසිය පාකිස්තාන නායක Salman Agha විසින් ජය ගත් අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දු යැවීමයි.
අද තරගයේ දී ශ්රී ලංකා කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීම සඳහා ධනංජය ද සිල්වා කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.
ශ්රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම පැතුම් නිස්සංක සහ කමිල් මිශාර වෙත පැවරුණු නමුත් අද දිනයේ දී ඔවුන් දෙදෙනා ම ඉනිමට ලකුණු 15ක් එක් වන විට පිටියෙන් ඉවත් කිරීමට පාකිස්තානයට හැකි වුනා.
ඉන් පසුව කලකට පසු කණ්ඩායමට එක් වූ ධනංජය ද සිල්වා ද ලකුණු 10ක් පමණක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, ශ්රී ලංකා ඉනිමේ 12 වැනි පන්දුවාරය වන විට ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 72ක් පමණක් ලබා ගැනීමට සමත් වී සිටියා.
මේ මොහොතේ කඩුල්ලේ එක් වූ වනිඳු හසරංග සහ ජනිත් ලියනගේ විසින් ඉනිමේ 06 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී වනිඳු ඉක්මන් ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් වනිඳුගේ දැවී යාමෙන් අනතුරුව ශ්රී ලංකාවට තවදුරටත් සාර්ථක පිතිකරණයක යෙදීමට හැකි වුනේ නැහැ. ශ්රී ලංකාව වෙනුවෙන් සාර්ථකම පිතිකරු වූ ජනිත් ලියනගේ පන්දු 31ක් තුළ ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දුවාර 19 පන්දු 2ක් තුළ ශ්රී ලංකා සියලු පිතිකරුවන් ලකුණු 128කට දවා ගැනීමට පාකිස්තාන පන්දු බළඇණියට හැකියාව ලැබුණා.
මෙහි දී පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Salman Mirza ලකුණු 18කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මින් පසුව ශ්රී ලංකාවෙන් ලද ලකුණු 129ක ඉලක්කය හඹා යාම සඳහා පාකිස්තාන පිතිකරුවන් පිටියට අවතීර්ණ වුනා.
මෙහි දී පාකිස්තාන ආරම්භක කඩුල්ල වෙනුවෙන් Sahibzada Farhan සහ Saim Ayub විසින් ලකුණු 59ක් එක් කිරීමට සමත් වූ අතර, Ayubගේ ඉනිම ලකුණු 24කට සීමා කිරීමට මහීෂ් තීක්ෂණ විසින් සමත් වුනා.
කෙසේ වෙතත් ඉන් පසුව Farhan සමඟ නායක Agha පිටියේ එක් වෙමින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.
වනිඳු හසරංග විසින් Agha ලකුණු 16කට දවා ගැනීම සමඟ එම සබඳතාව නිමා වුනත්, එතැනින් ද නොනැවතුණු Farhan විසින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරමින් පාකිස්තානයේ ජය මාවත විවර කිරීමට සමත් වුනා.
Farhan විසින් ලකුණු 51ක් ලබා ගැනීමෙන් අනතුරුව දුශ්මන්ත චමීර හමුවේ දැවී ගිය නමුත්, පාකිස්තානය ඉන් පන්දුවාර කිහිපයකට පසුව, සිය ඉනිමේ 17 වැනි පන්දුවාරයේ දී කඩුලු 4ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වුනා.
මේ අනුව දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වනවා.
තරගාවලියේ දෙවැනි තරගය සිකුරාදා (09) පැවැත්වීමට නියමිතයි.
ශ්රී ලංකා කණ්ඩායම:
Pathum Nissanka, Kamil Mishara, Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Janith Liyanage, Wanindu Hasaranga, Maheesh Theekshana, Dushmantha Chameera, Nuwan Thushara
පාකිස්තාන කණ්ඩායම:
Saim Ayub, Sahibzada Farhan, Salman Agha(c), Fakhar Zaman, Usman Khan(w), Shadab Khan, Mohammad Nawaz, Faheem Ashraf, Mohammad Wasim Jr, Salman Mirza, Abrar Ahmed
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<


























