ප්‍රතිනිර්මාණයක් බඳු අවසන් සටනේ ජය Redsට

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය 2022

1358

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගයේ ඊයේ (13) රාත්‍රියේ නිමා වූ තරගයෙන් SLC Blues කණ්ඩායම පරාජය කළ SLC Reds ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

Reds සහ Blues අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් Reds ක්‍රීඩකයෝ ලකුණු 33ක ජයග්‍රහණයක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් Reds කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Blues ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 145ක් පමණයි.

ඊයේ මෙම තරගය ආරම්භ වන විටත් Blues අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඒ අනුව ඔවුන් සමඟ අවසන් මහා තරගයට සටන් වැදීමට, ඊයේ ජයග්‍රහණය කළ Reds කණ්ඩායමට නියම වුනා. තරගය හෙට (15) රාත්‍රි තරගයක් ලෙසින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන්

  • SLC Reds – කුසල් මෙන්ඩිස් (නායක) ලසිත් කෘaස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, ලහිරු මධුශංක, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, සහන් ආරච්චිගේ, අසිත ප්‍රනාන්දු
  • SLC Blues – ධනංජය ද සිල්වා (නායක) සිතාර ගිම්හාන්, ලහිරු උදාර, සදීර සමරවික්‍රම, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, ලහිරු සමරකෝන්, සුමින්ද ලක්ෂාන්, කසුන් රාජිත, ඩිල්ශාන් මධුශංක, ප්‍රවීන් ජයවික්‍රම

නියත ජයග්‍රහණයක් අවැසි තරගයක කාසියේ වාසිය දිනා ගත් Reds නායක කුසල් මෙන්ඩිස් තම පිතිකරුවන් කෙරෙහි වඩාත් විශ්වාසය තබා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව Reds ඉනිම ආරම්භ කළේ ලසිත් කෘෘස්පුල්ලේ සහ නායක කුසල් මෙන්ඩිස්. නමුත් සිතූ සේ සාර්ථක ආරම්භයක් ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැහැ. කෘෘස්පුල්ලේ ලකුණු 3කට දැවී ගියේ ලකුණු පුවරුව 26ක් වෙද්දී. ඊට පසුව පිටියට එක් වූ භානුක රාජපක්ෂට ද වැඩි දායකත්වයක් තම කණ්ඩායම වෙනුවෙන් දැක්වීමට හැකි වූයේ නැහැ. ඔහු ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි.

භානුක දැවී ගොස් දෙවැනි පන්දුවේ දී කමිඳු මෙන්ඩිස් ද තම ඉනිම ලකුණු නොලබා ම හමාර කර ගත්තා. ඒ වෙද්දී Reds ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3ක් දැවී ලකුණු 53ක් ලෙසින්.

ගරා වැටෙමින් තිබූ Reds ඉනිම එතැන් සිට ගොඩ නැගීමට කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග සමත් වුනා. Blues පන්දු යවන්නන් දැඩි පීඩනයකට පත් කළ ඔවුන් දෙදෙනා සිය සිව්වැනි කඩුල්ලට පන්දු 75කින් ලකුණු 125ක සබඳතාවක් එක් කළා.

කුසල් මෙන්ඩිස් Reds ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යන විට පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබා සිටියා. එය කුසල්ගේ විස්සයි විස්ස තරග ඉතිහාසයේ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.

වනිඳු හසරංග පන්දු 41ක දී නොදැවී ලකුණු 69ක් ලබා සිටියේ හතරේ පහර 3ක් සහ හයේ පහර 5කින් තම ඉනිම සරසා ගනිමින්.

පන්දු යැවීමේ දී පා දඟපන්දු යවන සුමින්ද ලක්ෂාන් ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත් අතර ඩිල්ශාන් මධුශංක සහ චාමික කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පවිසි Blues ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් (0) දෙවැනි පන්දුවේ දී ම නැවත ක්‍රීඩාගාරයට හරහා යැවීමට මහීෂ් තීක්ෂණ සහ කුසල් මෙන්ඩිස් සමත් වුනා.

එතැන් සිට වඩාත් පරිස්සම් වූ අනෙක් ආරම්භක පිතිකරු ලහිරු උදාර සහ සදීර සමරවික්‍රම Blues ඉනිම පන්දුවෙන් පන්දුව ආරක්ෂා කරමින් සවිමත් කළා. ඔවුන් දෙදෙනා එක් ව තම දෙවැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 59ක් එක් කළා. ඔවුන්ගේ එම සබඳතාව බිඳ වැටුණේ වනිඳු හසරංගගේ පන්දුවකට ලහිරු උදාර දැවී යෑමත් සමඟින්. ලහිරු ඒ වෙද්දී පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

අනතුරුව කඩුල්ලේ දී සදීර සහ නායක ධනංජය ද සිල්වා එක්ව පන්දු 22ක දී ලකුණු 19ක් එක් කළා. ධනංජය ඉන් ලකුණු 15ක් රැස් කළ අතර ඒ වෙනුවෙන් පන්දු 11කට මුහුණ දී හතරේ පහර 2ක් තම ඉනිමට ඇතුළත් කළා.

අනතුරුව සදීර සහ අශේන් බණ්ඩාර එක් ව නැවත වතාවක්  Blues කණ්ඩායමට කර ඔසවා ජයග්‍රාහී මාවත දෙස බැලීමට සැලැස්සුවා. නමුත් ඔවුන්ගේ ගමන ලකුණු 116ක් වෙද්දී නිමා කිරීමට වනිඳු හසරංග සමත් වුනා. එවර ඔහුගේ ගොඳුර බවට පත් වූයේ එතෙක් වේලා සාර්ථකව Blues ඉනිම ගොඩ නගමින් සිටි සදීර සමරවික්‍රම. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

ඊළඟ පන්දුවාරයේ චාමික කරුණාරත්න (1) දැවී ගිය අතර අශේන් බණ්ඩාර 6 වැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙද්දී පන්දු 27කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

ඔවුන්ගේ ඉනිම අවසන් වන විට ලහිරු සමරකෝන් (2) සහ සුමින්ද ලක්ෂාන් (5) නොදැවී පිටියේ රැඳී සිටියා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 18කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණා. ඊට අමතර ව අසිත ප්‍රනාන්දු ලකුණු 25කට කඩුලු 2ක් සහ මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගිනුත් ලබා ගත්තා.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<